ගැහැණු ගති – පිරිමි ගති !
ගැහැනිය සහ පිරිමියා කායික සහ මානසික යන දෙඅංශයෙන්ම ඉඳුරාම වෙනස් දෙදෙනෙකි.
මෙකී අසමානතා ඇති දෙපලක් එක වහලක් යටට වන්නට පෙර දෙදෙනාගේ අසමානතා ගැන දැනගත යුතුය.
මෙම අසමානතා දෙකක් එකතුවී අනන්‍ය වූ දරුවකු බිහිකරයි.
ලෝකයේ සිටින සෑම කෙනෙක්ම තවත් කෙනෙකුට කිසිසේත්ම සමාන නැත. මේ අසමානකම නිසාම ලෝකය හරිම සුන්දරය
පෙම් කරන්නට පටන් ගත් දවසේ ඉඳලාම තරුණියන්ගේ පැතුම නම්,
“කෙදිනද කූඩු හදන්නට එන්නේ – කෙදිනද කූඩු වෙලා අපි ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ – කවදා තනි වන්නේ”
නමුත් පිරිමන්ගේ පැතුම එයමද ?
“වෙරෝනා – මරීනා – කර්මිලා – තෙරේසා
ෆ්රොන්තො මං ඉතාලියේ තනිවුනා” – පරිමි හරිම වෙනස් !
ඉතින් අද ලිපිය ගැහැනු ගති සහ පිරිමි ගති ගැනයි
මුලින්ම ගැහැණු ගති ගැන කතා කරමු. කොහොමත් Ladies First නේ.
ගැහැණු ගති
කාන්තාව උපතින්ම සුන්දරයි. ලාලිත්‍යයි. මෙය ඇයට ජීව විද්‍යාත්මකව හා මනෝ විද්‍යාත්මකව ලැබනු දෙයක්.
“සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සක’යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන”
කෝට්ටේ යුගයෙහිදී ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණි සංදේශයේ කාන්තා ලාලිත්‍ය වර්ණනා කලේ මෙලෙසයි. ඇසිපිය හෙලන නිසා පමනක් දෙවඟනක් නොවන තරමට ආකර්ෂණීය බවයි මෙයින් හැඟවුනේ.
එදා කෝට්ටේ යුගයේ ඉඟ සුඟ මිටින් ගත හැකි ඇයගේ දේහ වාත්සල්‍ය අද එලෙසමදැයි සිතිය නොහැක. ඒකට හේතුව සමහර කාන්තාවන් සිය පෙනුම ගැන මෙලෝ හැගීමක් නැතිව කටයුතු කිරීමයි.
පිරිමින් සහජයෙන්ම හැඩි දැඩි සිරුරක් ඇති අයයි. අතීතයේ නම් කීවේ ආරෝහ පරිනාහ දේහ සම්පත්තියක් ඇති පිරිමියෙක් කියායි.
ඒ කාලයේ කාය ශක්තිය අත්‍යවශ්‍ය වූයේ ජීවත් වීමේදී ශරීරය වෙහෙසා කටයුතු කිරීමට වූ නිසයි. වර්තමානයේ ශරීරයට වඩා මනස වෙහෙසා කටයුතු කිරීමට සිදුවී ඇති නිසා ආරෝහ පරිනාහ කාය ශක්තිය ඇති පිරිමින් ඇත්නම් කලාතුරකිනි.
කාන්තාවට උපතින්ම අන් අය වසඟ කර ගැනීමේ හැකියාව ඇතැයි සමාජ සම්මතයක් ඇත. මේවාට හැට හතර මායිම් කියාද පැරැන්නෝ කියති. මේවා මායම් නොවුනාට විවිධ ප්‍රයෝග දැන සිටීම කාන්තාවගේ ආරක්ෂාවට හොඳය. එය ඇයට උපතින්ම උරුම වූ දෙයකි.
මේ අතර කාන්තාවන්ට උපතින්ම දරාගැනීමේ ශක්තිය උරුමව ඇත. ලෝකයේ ඉතා අපහසුම කටයුත්ත වන දරු ගැබක් දසමසක් කුස දරා සිටීමේ උතුම් හැකියාව ඇත්තේත් කාන්තාවන්ටයි. ඒ සඳහා වන ජීව විද්‍යාත්මක ශරීරයක් ඇය සතුයි.
ස්ත්‍රිය කියන්නෙ තේරුම් ගන්න අපහසු සංකීර්ණ චරිතයක්. මෙයට හේතුව ඇය පිරිමියාට වඩා වේගයෙන් සිතීමයි.
කාන්තාවට එකවර වැඩ කිහිපයක් කිරීමට හැකියාව ඇතත් පිරිමින්ට එකවරකට එක වැඩක් පමණක් කිරීමේ හැකියාවකින් යුක්තයි.
කාන්තාව එකවර දරුවන් බලා ගන්නා ගමන් උයන පිහන වැඩත් කරන අතර සමහර විට රෙදි පෙරෙදි සෝදන වැඩකුත් කරයි. මේ හේතුව නිසා ඇය බහුවිද ක්‍රියාකාරකම් (Multi Task) එකවර කිරීමේ හැකියාවෙන් යුක්ත වුනා.
අතීතයේ පිරිමි දඩයමක් පසුපස ගියාම ඒ සාර්ථක වනතෙක් එකම ඉලක්කයක අවධානය යොමු කර සිටීම නිසා එකවරකට එක වැඩක් කිරීමට පිරිමි පුරුදු වුනා.
කාන්තාව සහජයෙන්ම අන්තර්වර්තික ( Introvert ) යැයි සැලකේ.
එහි තේරුම ඇය සිය පවුල ගැන. දරුවන් ගැන, ගේ දොර ගැන වැඩිපුර සිතන අයෙකු වීමයි. කොහොමත් කාන්තාවන් දෙදෙනෙකු හමුවුනාම ඇඳුම් ගැන, දරුවන් ගැන, ගේදොර ගැන, උයන පිහන දේ ගැන, ගෙවතු අලංකරණය ගැන ආදිය කථා කරනවානේ.
පිරිමියා සහජයෙන් බහිර්වර්තික (Extrovert) යැයි සැලකේ. මෙහි තේරුම ඔහු ලෝකය, සමාජය ගැන වැඩි අවධානයක් යොමු කරන බවයි. පිරිමි හමු වුනාම කථා කරන්නේ, දේශපාලනය ගැන, ආර්ථිකය ගැන, ක්‍රිකට් මැච් ගැන, ආන්ඩු ගැන.
එක්තරා මනෝ විද්‍යාඥයකු ඉහත අදහස මෙසේ පැහැදිලි කර ඇත “ ගැහැනියගේ ලෝකය නිවසයි – පිරිමියා ගේ නිවස ලෝකයයි”
හෙලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ ගම්පෙරලියේ මෙසේ එයි. මාතර හාමිනේ සැබැවින්ම ඇතුලට නැමුනු සිත් ඇත්තීය. කයිසාරුවත්තේ මුහන්දිරම් බැහැරට සිත් ඇත්තෙකි. ඉර දෙසට නැමෙන සූරිය කාන්ත මල සේ මේ දෙදෙනාගේ චර්යාව වික්‍රමසිංහයන් පැහැදිලි කර ඇත.
පිරිමියා සහජයෙන්ම රංචු ගැසීමට කැමතියි. කාන්තාවන් නිවසේ කටයුතු වලට කැමතියි.
එදා ආදි මානවයා කැලයේ ජීවත් වන කාලයේ පිරිමි දඩයමේ ගොස් ආහාර සොයා ගෙන පැමිනි අතර, කාන්තාව ගල්ගුහාවල දරුවන් බලා ගනිමින්, ආහාර සැකසීම ආදිය සිදුකලාය. මේ චර්යාව අදටත් එසේමයි.
පිරිමි ඉඩ ලැබෙන හැම වෙලාවකම සමාජයට යන්නට යහළුවුන් ඇසුරු කරන්නට කැමති මේ හේතුව නිසයි. මේක බිරිඳ තේරුම් ගන්න අවශ්‍යයි.
බොහෝ බිරින්දෑවන් සැමියාගේ මේ මානසික අවශ්‍යතාවය තේරුම් නොගෙන රංඩු කරන නිසා පවුලේ ගැටුම් ඇතිවෙනවා.
කාන්තාවන්ට බොහෝ සියුම් දේ, ඉතා පුංචි දේවල් මතක තබා ගැනීමේ හැකියාව ඇත. කොටින්ම දෙදෙනා හමුවූ දිනය, විවාහ ගිවිස ගත් දිනය ආදී සියුම් දේ පවා මතක ඇත.
නමුත් පිරිමින්ට මේ බොහෝ දේවල් මතක නැහැ.
උදාහරණයකට විවාහ ගිවිස ගත් දිනය වගේ දේවල් බොහෝ පිරිමින්ට මතක නැහැ. එක්තරා පියෙක් පාසලට පැමින තම දරුවා සිටින්නේ කුමන පන්තියේදැයි විමසූ සිදුවීමක් මා දනිමි. සමාන්තර පන්ති කිහිපයක් ඇති පාසලේ දරුවා ඉගෙන ගන්නා ශ්‍රේණිය දන්නා නමුත් පන්තිය එම පියා දැනගෙන හිටියේ නැහැ.
දුරකථන නැති කාලෙක කථාවක්. එක්තරා සැමියෙකුට බොහෝ දේ අමතක වීම පුරුද්දක්. බිරිඳ මේ නිසා කේන්තියෙන් පසුුවුනා. ඇය දිනක් අත්‍යවශ්‍ය දෙයක් ගෙන ඒම මතක් කිරීමට ලේන්සුවේ ගැටයක් යොදා එය දුටු පසුව අදාල දේ රැගෙන එන ලෙසත් පවසා පිටත් කරා. එදිනත් සැමියා කිසිවක් නොගෙන නිවසට පැමිනියාම කාන්තාව ඒ ගැන විමසූ විට, “ඔයා මේ ගැටය ගැහුවේ මොකටද කියා මම කල්පනා කලා මතකයට ආවේම නැහැ” කීය.
බිරිඳගේ උපන්දිනය පවා අමතක වන පිරිමි අපි අතර නැතුවා නොවේ. මේක පිරිමින්ගේ දුර්වල කමක් නොවේ. ඔවුන්ගේ සහජ ගතියක්.
ඉතින් මේ අනුව කාන්තාව හා පිරිමියා කියන්නෙ සහජයෙන්ම කායික ව හා මානසිකව වෙනස්ම චරිත දෙකක්. විවාහ වන දෙදෙනාම මෙය තේරුම් ගත යුතුයි.
පරිඝනක භාෂාවේදී 0 සහ 1 භාවිතා කරනවා වගේ කාන්තාව සහ පිරිමියා සහමුලින්ම වෙනස් චරිත විදියටයි බිහිවෙලා තියෙන්නෙ.
මේක හරියට ගුවන් විදුලි චැනල් දෙකක් වගේ. අපි හිතමු ෂා FM සහ ලක්හඩ කියල. මේ චැනල් දෙක සම්පූර්ණයෙන්ම දෙවිදියක්. සංඛ්‍යාතයන් පවා දෙකකින් තමයි විකාශය වන්නේ.
කාන්තාව හා පිරිමියා මේ චැනල් දෙක වගේ. දැන් එක් කෙනෙකුට අදහස් හුවමාරු කරන්න ඕනෙ වුනාම එයා පාවිච්චි කරන්නෙ එයාගෙ සන්නිවේදන සංඛ්‍යාතය. අනෙකා පාවිච්චි කරන්නෙ එයාගෙ සංඛ්‍යාතය.
ඉතින් මෙහිදී එක් කෙනෙක් කැපකිරීමක් කරන්න වෙනවා. දෙන්නම චැනල් දෙකම එකවර ON කලොත් මොකද වෙන්නෙ ?
අහල පහල මිනිස්සුන්ටත් ඉන්න බැරි වෙනවා.
ඉතින් විවාහය කියන්නෙම Sharing සහ Caring. ඒ කියන්නෙ සැලකිල්ල සහ බෙදා ගැනීමයි.
දුක වේදනාව සතුට හැමදේම බෙදා හදා ගැනීමට දෙන්නාම හුරු වෙන්න ඕනේ. ඒ වගේම බිරිඳත් සැමියාත් දෙදෙනාගේම සිතුම් පැතුම්, ගැඟීම් සහ අවශ්‍යතා ගැන සැලකිල්ලක් දක්වන්න ඕනෙ.
බොහෝ විට තමාගේ මතයට අනෙකා යටත් කර ගැනීම තමයි බොහෝ පවුල් වල තියෙන්නෙ. ඉතින් එතනම ගැටුම. එහෙම නැතිනම් දුර්වලයා මුළුගැන්වීම.
මේක තමයි අපේ බොහෝ පවුල් ඇතුලෙ තියෙන කතාව
මේකට මූලිකම හේතුව කුමක්ද ?
ගැහැනියා සහ පිරිමියා යනු දෙදෙනෙක් වන බව සහ දෙදෙනාට වෙන වෙන සිතුම් පැතුම් ඇති බව තේරුම් ගැනීමයි සාර්ථක පවුල් ජීවිතයක රහස.
අපි දෙන්නා එක්කෙනෙක් කියන කථාව ලවු කරන කාලෙ සුන්දර අදහසක් වුනාට ගැහැනිය සහ පිරිමියා කවදාවත් එක් කෙනෙක් වෙන්නෙ නැහැ.
මේ විවිධත්වයමයි ලෝකය සුන්දර කරන්නෙ. ගහේමයි වැල එතෙන්නෙ. ලෝකයේ ඔක්කොම ගස් තිබුනත් ලස්සන නැහැ. වැල් තියෙන්නත් ඕනෙ.
විවාහ වන්නට පෙරුම් පුරන තරුණ දූ දරුවන් මේ ගැන අවබෝදයක් ලබා ගන්න. දෙදෙනා දෙවිදියක් නිසා එකිනෙකාට ගරු කරන්න. අනෙකා කියන දේ පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න පුරුදු වන්න. අනෙකා ඕනැවට වඩා පාලනය කරන්න හිතන්න එපා.
විවාහය කියන්නෙ පෙරුම්පුරන්න හොඳ සංස්ථාවක් කියල දාර්ශණිකයෙක් කියල කියෙනවා.
විවාහයේදී දෙන්නාම කැපකිරීමක් කළ යුතුයි. ඒ අනෙකාගේ ආශාවන්, හැඟීම්, සිතුම්පැතුම්, මතවාදයන්ට ගරු කිරීමෙන්. මොකද සැමියාට වගේම බිරිඳටත් පවුල තුල සමාන අයිතිවාසිකම් තියෙනවා.
බිරිඳ ඉන්නේ තමන්ගේ ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීමට පමණයි කියා සිතන පිරිමිත් මේ ලෝකයේ අඩු නැහැ. තවත් සමහරු සිතන්නේ බිරිඳ කියන්නේ නිවසේ වැඩකාරි කියලයි. මේ දෙකම වැරදියි.
පිරිමි ඉන්නේ මුදල් හම්බකරන්න විතරයි. පිරමියාට යුතුකම් ඉටුකිරීම අවශ්‍ය නැහැ කියල හිතන කාන්තාවනුත් ඉන්නවා.
බොහෝ විට දරුවන් ලැබුනාට පසුව බිරිඳ සැමියාගෙන් ඈත්වීම බොහෝ ගැටළු රාශියකට ආරම්භය වෙනවා.
එසේනම් පවුලක බිරිදත් සැමියාත් දෙදෙනාම වැදගත් චරිත. මේ අයගේ කායික මානසික වෙනස්කම් තේරුම්ගන්න උත්සාහ කරන්න.
අනෙකා ඔබ වගේ නොවන බව තේරුම් ගන්න.
විවිධත්වයට ගරු කරන්න.
ඔබ වගේ වෙන්න අනෙකාට බැරි බව තේරුම් ගන්න.
සුන්දර විවාහ දිවියක් ගත කිරීමට මේ දැනුම අවශ්‍යමයි.
ඔබට ජයග්‍රාහී වාසනාවන්ත යුගදිවියකට සුභ පතමි.
ඔබේ ප්‍රතිචාරය මට ඉතාම වටිනවා. මේ ගැන ඔබේ අදහස් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
එසේනම්, ඔබට සුභපැතුම් !
මම – ප්‍රදීප් පරණගම