මට මගේ පෙම්වතිය හමුවුනේ මා උසස්පෙල පන්තියේ ඉගෙනුම ලබද්දී ය. ඒ මීට වසර තිස් තුනකට පෙර එනම් 1987 වසරේ දීය. එවකට දෙනියාය මැදි විදුහලේ උසස්පෙල ජීව විද්‍යා අංශයේ අප දෙදෙනා උගනිමින් සිටියෙමු. අප උසස්පෙල විභාගයට මුහුන දීමට නියමිතව තිබුනේ 1989 අගෝස්තුවේදී ය.

ඉගෙනීම අතරතුර පෙම් සබඳතාවයක් ඇතිකර ගැනීමට ඇය අකමැති වූවාය. මට ඒ ගැන නිශ්චිත අදහසක් තිබුනේ නැත. ඒත් අපේ පන්තියේම සිටි ඒ වන විටත් පෙම් සබඳතා අරඹා පවත්වාගෙන ගිය මිතුරියන් කීපදෙනෙකු මූලිකවී අපේ ප්‍රේම සම්බන්ධය තහවුරු කලෝය. ඔවුන් අපට උදව් ⁣කලහ.

අප දෙදෙනාගේ පවුල් පසුබිම් සැලකූ ඇය සිතුයේ අපට කිසිදා එක්ව ජීවන ගමන යන්නට බැරි වේයැයි කියා ය. ඒත් කල් ගත වෙද්දී ඇගේ මේ සැකය දුරුකොට අපේම සිහින ලොවක් ගැන බලාපොරොත්තු දැල්වීමට තරම් විශ්වාසයක් ඇය තුල ගොඩනැගීමට මා සමත් වීමි.

අපි උසස්පෙල පන්තියට අවුදින් මාස හයක් යන්නටත් පෙර අපි පෙමින් බැඳුන අතර, රටතුළ ඇතිවූ අස්ථාවර දේශපාලන වටපිටාව නිසා අධ්‍යපනය පමණක් නොව ජීවිතය පිලිබඳව පවා අප සිත් තුල ඇතිවූයේ අවිනිශ්චිත හැඟීමකි.

පාසැල තුල ජ.වි.පෙ. දේශපාලන ක්‍රියාකාරකම් ඇරඹුන අතර එවකට ශිෂ්‍ය නායකයන් වූ ඇයත් මමත් එම දේශපාලන කටයුතු වලට හවුල් නොවීම හා විශේෂයෙන් මම ඔවුන් විවේචනය කිරීම හේතුවෙන් අපට විශේෂ තර්ජන ද තිබින.

ඒ කාලය තුල හරියකට පාසැල පැවැත්වීමට හෝ ළමයින් විභාගයට සූදානම් කිරීමට තරම් හැකියාවක් වාතාවරණයක් නොවූයෙන් දිවංගත අතුල රාජපක්ෂ, ඌෂා දෙනියාය වැනි ගුරු දෙවියන් විසින් අප වෙනුවෙන් අතිරේඛ පන්ති නොමිලේම පැවැත්වූයේ ඔවුනට පැමිණි ජීවිත තර්ජන පවා නොතකමින් ය.

යූඇන්පී ආණ්ඩුවේ නිලලත් මිනීමරුවන් හා ජේවීපී කැලෑ මිනීමරුවන් විසින් අතොරක් නැතිව අහිංසක මිනිසුන් මරා මිනී කඳු ගොඩගැසූ 1989 අප්‍රේල් මාසයේ අප පවුලේ සියල්ලෝම ගේ දොර අතහැර මොරවක තැපැල් කාර්යාලයේ නිල නිවාසයේ පදිංචි වූයේ මරණ බය තදින්ම දැනුන නිසාය.

අද මෙන් සන්නිවේදන පහසුකම් නොමැති ඒ යුගයේ අපට තිබුනු එකම සුවදුක් දැනගැනීමේ ක්‍රමය තැපෑලෙන් ලිපියක් යැවීම පමණකි. තැපැල් වර්ජන නිසා ඒ එකම අවස්ථාව ද අහිමිව අපි හදවත් තුල එකිනෙකාගේ රූ සිතුවම් කරගෙන ඉවසීමෙන් බලා සිටි කාලය කල්පයක් සේ අපට දැනින.

උග්‍ර භීෂනය නිසා මොරවක තැපැල් නිල නිවසේ සිට පොතක් පතක් බලන්නට තරම් වාතාවරණයක් නොතිබුනෙන් මම මගේ මිතුරෙක් වූ තුෂාරලා ගේ දෙනියාය නිවසේ නතර වීමි. ඔහුගේ සොයුරිය වූ ඉනෝකා ද අපේ පන්තියේම ඉගෙනගත් අතර ඇය මගේ පෙම්වතියගේ ලගම මිතුරියක වූවාය. විභාගය දෙසැම්බර් දක්වා ඇදී ගියෙන් එ් සොඳුරු නවාතැනේ ඔවුන්ගේ ආදර සත්කාර මැද මට මාස අටක් පමන සිටින්නට සිදුවීය

මේ දිනවල අප හවසට අතුල සර් හා ඌෂා මිස් විසින් පාසැලේ නොමිලේ පැවැත්වූ අතිරේඛ පන්ති වලට සහභාගි වීමු. මගේ පෙම්වතිය බොහෝ දවස් වලට මටද සමග ඇගේ අතින්ම පිස සකසා ගෙන එනු ලැබූ බත් පංගුවක්, පංතිය පටන් ගැනීමට පෙර අප දෙදෙනා එක්ව භුක්ති විඳීමේ සිරිතක්ද පැවතිනි.

මුලින්ම මා සමග පෙමින් බැඳුන දා සිට අද දක්වාම ඇය මගේ කුදුමහත් සියළුම ඕනෑ එපාකම් ගැන සැලකිල්ලෙන් සොයා බැළුවාය. අප විවාහ වූයේ 1997 වසරේදීය. පෙමින් බැඳුන දා සිට විවාහය දක්වා අප පෙම් කල කාලය වසර දහයකි.

ඒ වසර දහයේ අප එකිනෙකාට බෙහෙවින් ආදරය කල අතර එකිනෙකා වෙනුවෙන් බොහෝ කැපකිරීම් ද කර ඇත්තෙමු. එකල අපේ රටේ “වැලන්ටයින්” සිටියේ නැත. පෙම්වතුන් වූ අපට හැමදාමත් “පෙම්වතුන්ගේ දිනයක්” වූ අතර රෝසමල් චොකලට් හෝ සුහුරු ජංගම දුරකථන වැනි වටිනා තෑගි හුවමාරු වූයේද නැත. අපට ඒතරම් මුදල් තිබුනේ ද නැත.

සිනමාහල්, උද්‍යාන, මුහුදු වෙරලවල් වල පෙම් සුව විඳින්නට තරම් නිදහසක් අපට අපේ ගෙවල් වලින් නොලැබුන අතර අඳුරු මුල්ලක සැඟවී බාල වර්ගයේ වින්දනයක් ලැබීමට තරම් අපේ ප්‍රේමය සිල්ලර එකක් නොවීය. ලිංගික ඇසුරක් ලැබීමේ අපේක්ෂාවක් අපතුල සැබැවින්ම තිබූ නමුත් අප එය අපේක්ෂා කලේ අපේ ප්‍රේමයේ අග්‍රඵලය සෙලට විවාහයෙන් පසු ලබන්නක් ලෙස මිස අහම්බෙන් මහ පාරේ, සිනමා හලක අඳුරු මුල්ලක වැනි කොතැනක හෝ ලැබිය හැකි බාල වර්ගයේ ආස්වාදයක් ලෙස නොවේ.

පෙම්වතුන් ලෙස සිටි දීර්ඝ කාලය තුල අප පහත් ආශාවන් ඉටුකර ගැනීමට නොගොස් අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා බැඳීමෙන් යුතුව ගමණක් ආ නිසාම අපේ පෙම් සටන් දිනීමටත් ඉන් පසුව දීර්ඝ කාලයක් ආදර්ශමත් ලෙස පවුල් ජීවිතයක් ගෙවීමටත් අපට හැකිව තිබේ. එලෙසම තරුණ වයසේ සිටින අපේ දරුවන් සමග ද අපේ අතීත පෙම් කතාව විවෘතව රස විඳින්නට ද අපට පිලිවන්ව ඇත.

අතිශය කම්කටොලු වලින් පිරි, එහෙත් ආනන්දනීය ප්‍රේම පුරාවෘත්තයක හිමිකරුවකු ලෙස, අපේ දරුවන් ද ඇතුළු අද දවසේ තරුණ පෙම්වතුන් හට මට දිය හැකි පණිවුඩය නම්,

ප්‍රේමය යනු තැනකින් පටන්ගෙන තව තැනකින් නිමාවන එක් හුදෙකලා සිද්ධියක් නොව, හැමදාමත් සජීවී ලොව හරහා හමායන, ලොව පුරා මිනිසුන් හා සතුන් හට කලින් කලට අඩු වැඩි වශයෙන් දැනෙමින් විටෙක දුෂ්කර හා විටෙක මිහිරි හැඟුම් හදවතට දනවන අවිච්ඡින්න, සදාතනික දිව්‍යමය වූ සුගන්ධයකි. ඒ සුවඳ සදාකාලිකව විඳින්නට නම්, ඉවසීමෙන්, අන්‍යෝන්‍ය විශ්වාසයෙන් හා ගෞරවයෙන් මෙන්ම වගකීමෙන් යුතුව ක්‍රියා කල යුතුය.

7 Replies to “වැලන්ටයින් නොදුටු අපේ ප්‍රේමය”

  1. මම ආසම කැල්ල තමා
    “වැලන්ටයින්” සිටියේ නැත. පෙම්වතුන් වූ අපට හැමදාමත් “පෙම්වතුන්ගේ දිනයක්”

Leave a Reply

Your email address will not be published.