ආදරයෙන් පරාජය වීම හෙවත් බූට් එක 💔

  • Post category:Love
  • Post comments:0 Comments
  • Reading time:7 mins read

ඔබත් අපාරාජිත ප්‍රේමයක උරුමකරුවෙක්ද ? එසේනම් මගේ සුභ පැතුම් ! ❤️

ලෝකයේ බොහෝ දෙනෙකු ජීවිතයේ එක්වරක් හෝ ප්‍රේමයෙන් පැරදී ඇත. සමහරු කිහිප වරක් ! 💔

අද මේ ගැන කථා කරමු. 🙏

ප්‍රේමයෙන් පරාජිත වීම ගැන මගේ අදහස නම් අපි යොදා ගන්නා වචනයේ වරදක් ඇති බවයි. පරදින්න නම් තරඟයක් තිබිය යුතුය. ප්‍රේමයේදී තරඟයක් ඇතිවිය නොහැකි බවයි මගේ වැටහීම. ❤️

එසේනම් මේ කියන බූට් එක තැබීම කුමක්ද ?

මෙයට හේතුව කුමක්ද ?

🔸 නොගැලපීම

🔹දෙදෙනෙකු අතර ප්‍රේමයක් දළුලා වැඩුනු පසු ටික දවසක් ඇසුරු කරගෙන යාමේදී පෙම්වතාට – පෙම්වතියට තමාගේ සහකරුගේ නොගැලපීම් දක්නට ලැබීම නිසා මොනවා හෝ හේතුවක් පටලවා ඉවත්වීමට කටයුතු කරයි.

🔹මෙහිදී තත්වය, තරාතිරම, මුදල් හදල්, වත්කම් එහෙමත් නැතිනම් පෙනුම, කථාබහ, සමාජශීලී බවෙහි ඇති දෝශ ආදිය නිසාත් ඉවත්වීමට කටයුතු කරයි.මෙහිදී ඇත්ත නොගැලපීම් සහ බොරු නොගැලපීම් යනුවෙන් දෙකක් ඇත. ඇත්ත නොගැලපීම් යනු, ඉහත කී විවිධ සමාජ, සංස්කෘතික හා ආර්ථික නොගැලපීම් වේ.

🔸 ඇත්ත නොගැලපීම්

🔹 වයස – වයස් පරතරය ගැන මීට පෙර ලිපියකින් මා පැහැදිලි කළා. කරුණාකර පෙර ලිපිය කියවන්න. වයස් පරතරය බොහෝ වැඩි නම් හා බිරිඳ සැමියාට සැලකියයුතු පමණකින් වැඩි වයස් නම් වන නොගැලපීම

🔹 කායික නොගැලපීම – ඉතාම කෙට්ටු ශරීරයක් ඇති පිරිමි අයෙක් ඉතාම මහත කාන්තාවක් සම්බන්ධ වීම හෝ ඉතාම උස කාන්තාවක් තමන්ට වඩා මිටි පරිමි අයෙකු හා සම්බන්ධ වීම ( අපේ සංස්කෘතියේ හැටියට පිරිමියා වයසෙන් හා උසෙන් වැඩිවීම සම්මතයක් සේ සලකන අතර මෙකී සම්මතයන්ට අභියෝග කර විවාහ වන අවස්ථා ද නැතුවා නොවේ. මේ ගැන ස්ථිර පදනමක් නොමැති අතර එක් එක් අයගේ කැමැත්ත හා අවශ්‍යතාවය මත මෙය වෙනස් විය හැකිය. මෙයින් අදහස් වන්නේ මෙය අනිවාර්ය වන බව නොවේ)

🔹 මානසික නොගැලපීම – දෙදෙනාගේ මානසික තත්වයන්හි පරස්පරතාවය අනුවද නොගැලපීම් ඇතිවේ. ඉතා තදින් කේන්ති යන අය, ඉතා කුඩා දේටත් සැක කරන අය, ළමා චර්යාව ( Childish Behaviour) සමහර දෙමාපියන් විශේෂයෙන්ම මව තමන්ගේ පිරිමි දරුවා ඉතා කුඩා දරුවකු සේ සලකා ඇති දැඩි කරන අතර ඔහුගේ සියළු කටයුතු මවගේ දෑතින්ම සිදුකරයි. මේ දරුවන් වැඩිහිටි වූවාට පසුවත් කුඩා ළමුන් සේ හැසිරේ. මෙවන් චරිත ඇති අය ළමා චර්යා ඇති අයසේ සැලකේ.

🔹 තරාතිරම / තත්වය / පවුල් පසුබිම – එක් එක් අයගේ තරාතිරම,තත්වය හා පවුල් පසුබිම ගැන දැනගන්නේ ප්‍රේම සබඳතාව අරඹා ටික කාලයකට පසුවයි. මෙවන් අවස්ථා වලදීත් වෙන්වීමට සිදුවන අවස්ථා නැතුවාම නොවේ.එතකොට බොරු නොගැලපීම් යනු කුමක්ද ?

🔸 බොරු නොගලපීම

🔹 මීට වඩා හොඳ යයි හිතන වෙනත් කෙනෙකු සෙට් වීම

🔹 යාළු වෙන්නට කලින් ඇතිකරගෙන තිබූ ප්‍රතිරූපය ටිකක් ලඟින් ඇසුරු කරන විට දියවී යාම ( මේ ගැන අපූරු උදාහරණයක් ඇත. “දෙවියන්ට වුනත් දුර ඉඳන් පුදන්න” යනුවෙන් කියමනක් ඇත. මෙහි තේරුම නම් ඕනෑම කෙනෙකුගේ දුර ඉඳන් අපි දකින විට පෙනෙන දේ ට වඩා අඩුපාඩු ලංවුනාම පේන්න දැනෙන්න ගන්නා බවයි. ඒ කියන්නෙ දෙවියන්ට වුනත් ඕනෑවට වඩා ලංවුනාම දෙවියන්ගෙත් අඩුපාඩු පේන්න පටන් ගන්නා බවයි)

🔹 බොරුවට ලාබ ප්‍රයෝජන ගන්නා චේතනාවෙන්ම සබඳතා ඇති කර ගෙන පසුව හොඳ නැති වීම – මෙහි දෙපැත්තක් ඇත.

එකක් – ආර්ථික හා වෙනත් භෞතික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් යාළු වීම ( ග්‍රාම්‍ය භාෂාවෙන් – හොඳ මෝරෙක් සෙට්වීම ) හා අවශ්‍ය තරම් ප්‍රතිලාභ ලබාගෙන නට්ටං වුනාම අතහැර දැමීමදෙවැන්න – කායික අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් යාළු වීම – බොහෝ විට කාන්තා පාර්ශවය මේ තත්වයට මුහුන දෙති. තමන්ගේ මනදොල සපුරාගෙන අවසන රොඩ්ඩක් සේ ඉවත දමති.

🔹 කුල මල, ජාති ආගම් භේද හා කේන්දර නොගැලපීම් ආදී වන සංස්කෘතික කාරණා නිසා සම්බන්ධතාවය නවතා දැමීම මෙහිදී ටික දවසක් ඉතා සුහදව ඇසුරු කර විවාහ වීමේ අවශ්‍යතාවය ඇතිවූ පසු පවුලේ අය මේ කරුණට මැදිහත්වේ. පසුව ඉහත කී සංස්කෘතික ගැලපීම් සිදුකරන්නට යාම නිසාත් ප්‍රේම සබඳතා බිඳවැටේ. 💔

තවත් මෙහි සඳහන් නොවු දහසකුත් එකක් කාරණා නිසා පෙම් සබඳතා බිඳ වැටේ. 💔

මෙහිදී පිරිමි සහ ගැහැණු කියා බේදයක් නැත. දෙපාර්ශවයම අනෙකාට බූට් එක , පොල්ල නැතිනම් කනුව තියති. සමහරු කොකා පෙන්නති. මේ මොන ආකාරයෙන් කීවත් ප්‍රේමයේ විරහව ඉතාම සියුම් වේදනාකාරී දෙයකි

🔹 ප්‍රේමයේ වියෝගය – සම් මස් නහර සිඳ – ඇට ඇටමිදුළු තෙක් වේදනා දෙන හැඟීමකි.

🔹 ලෝකයේ මෙතක් ලියවී ඇති වැඩිම සාහිත්‍යාංග ලියවී ඇත්තේ මෙකී විප්පයෝගයටයි. කවි, ගීත, නවකථා, කෙටිකතා ඇතුළු බොහෝ දේ මේ සඳහා නිර්මාණය වී ඇත.

🔹 “පියේහි විප්පයෝගෝ දුක්ඛෝ” – ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. බුදුන් වහන්සේ දේශනා කළ සේක. ඒ හා සමගම උන් වහන්සේ “අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ” යනුවෙන්ද වදාල සේක.

🔹 ඒ අනුව අප්‍රියයන් හා එකතු වීමට වඩා වෙන්වීම සතුටක් විය හැකිය.

👫 සමහරු සිය ප්‍රේමය සින්නක්කරම අන් කෙනා වෙත පවරා දෙති. සමහරු නොකියාම ප්‍රේම ද්වාරයෙන් පිටව යති. තාමත් සමහරු මියගිය ප්‍රේමයේ ආශ්වාදයෙන් මිදීගත නොහැකිව

“ කියා දෙන්න මට මා හැර ගිය හැටි – තාමත් ඒ ගැන දන්නෑ මං” යනුවෙන් මුමුනනු ඇසේ. 💔

බොහෝ දියණියෝ ආලයෙන් අන්ධ වී සියල්ල පුදදුන් පසු බූට් එක කති. එවිට

“පෙම් ලොවදී දුටු ඔහුමද මේ – ඔහුටද මා අන්ද වුනේ” යනුවෙන් විරහ ගී සිය ජීවන ගීය කර ගනිති.

අද වැඩිපුරම FM නාලිකාවල ඇසෙන්නේ මළ ගෙවල් වල කියන ජාතියේ සින්දුය. ගායකයා හොටු පෙරාගෙන තමන්ගේ මල ගෙදරට එන්න යැයි අඬා වැලපෙති.

🔹 කවර, කුමන ආකාරයෙන් පහදා දීමට හැදුවත් විප්‍රයෝගය සැබෑ ලෙසම පීඩාකාරී වේ.

විරාගයේ අරවින්දලා සේ සමහරු ජීවිත කාලයම පුදකල පූජනීය ප්‍රේමය වෙනුවෙන් පාරමිතා පුරති. 👩‍❤️‍💋‍👨

සමහරු මහන වෙති.

සමහරු මානසික ආතතිය ඇති කර ගනිති. ඉතාම නරක දේ සමහරු මේ වෙනුවෙන් ජීවිත පවා පුද කිරීමයි.

දැන් මෙවන් දේකදි අපි කුමක් කළ යුතුද ? 👫

🔸 මුලින්ම මෙකී මානසික රාමුවෙන් එලියට ඒමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය.

මොකද මේ මානසික රාමුව, නැතිනම් හිර කූඩුව තුල සිටින තාක් කල් අපේ චිත්ත පීඩාව වැඩිවේ. මේ අවස්ථාවේදී සිතේ ශක්තිය මත විශ්වාස කරමින් සුදුසු පැරණි කියමනක් නිතර මෙනෙහි කිරීම කළ හැකිය.

උදාහරණයක් ලෙස “කොයි දේ වෙන්නෙත් හොඳටයි – හැමදේම වෙන්නෙ මනුස්සයන්ටයි – මේක මෙහෙම වෙච්ච එක හොඳයි – මට මීට වඩා හොඳ කෙනෙක් හමුවෙයි – විවාහ වෙන්න කලින් මෙයා ගැන දැනගත්ත එක හොඳයි “ ආදී වශයෙන් ස්වයං කථනයක් කිරීම සුදුසුයි.

🔸 ආගමික හෝ දාර්ශනික මතයකට මෙය ආරෝ පනය කිරීම, මෙය දරාගැනීමේ තවත් ක්‍රමයකි.

උදාහරණයකට බෞද්ධයන් වන අපිට මෙය සංසාර ගමනේ එක් නවාතැන් පොලකි. මේ ගමනේදී විවිධ අය හමු වෙති, විවිධ අය වෙන්වෙති. මේ සියල්ල තාවකාලිකයි යනුවෙන් තර්කානුකූලව සිතීම මගිනුත් සිතේ ඇති පීඩාව අඩු කර ගත හැකිය. 👫

🔸 තමන්ගේ විශවාසවන්තම මිතුරකුට මිතුරියකට මෙය පැවසීම , 👩‍❤️‍💋‍👨

🔸 පීඩාව දරාගත නොහැකි නම් උපදේශණයක් කරා යොමුවීමත් සුදුසු වේ. මිතුරා සැබෑ ලෙසම අවංක අයෙකු නම් පමනක් වේදනාව පැවසීම සුදුසුයි. නැතහොත් නැති ප්‍රශ්න මතුවීමටද ඉඩඇත.

මේ මෙන දේ වුනත් ඔබේ සිතිවිල්ල විය යුත්තේ, අනිවාර්යයෙන්ම විවාහ විය යුතු බවයි. ප්‍රෙමයේ පරාජයක් නිසා විවාහයට එය බාධාවක් කර නොගන්න. 👩‍❤️‍💋‍👨

🔸 මෙන්න වැදගත්ම දේ – කැඩී බිඳී ගිය හුටපට නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඔබේ ජෙනුවින් බව පෙන්වන්නට සිදුවූ සියළු සිදුවීම්, ආගිය තැන් , කරපු කියපු දේවල් හැම දෙයක්ම අළුත් කෙනාට නොකිය ඉන්න තරමට ශරීර සෞඛ්‍යට හොඳ බව අවධාරණය කරමි. මොකද සමහරු මුළු ජීවිත කථාවම කියන්නට ගොස් කෙලව ගත් අවස්ථා එමට ඇති බැවිනි. ❤️

මෙකී විප්‍රයෝගයෙන් මිදෙන ක්‍රම ගැන තවත් ලිපියකින් කථා කරන්නම්. ❤️

ඔබට ජයග්‍රාහී වාසනාවන්ත යුගදිවියකට සුභ පතමි. ඔබට සුභ මංගලම්! ❤️👩‍❤️‍💋‍👨

ඔබේ ප්‍රතිචාරය මට ඉතාම වටිනවා. මේ ගැන ඔබේ අදහස් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.🙏

එසේනම්, ඔබට සුභපැතුම් ! ❤️

මම – ප්‍රදීප් පරණගම ❤️🙏

පහත ලින්ක් එක මගින් මගේ පිටුව Follow කිරීමට ආරාධනා කරමි. https://www.facebook.com/PradeepParanagamaOfficial/

Leave a Reply